අවවාදයයි! දැඩි ලෙස මනස අවුල් වියවුල් වෙන සුළුයි, නැරඹීමෙන් වළකින්න.

JOKER නම් චරිතය ප්‍රථමයෙන් DC COMIC තුළ නිර්මාණය වන්නෙ වර්ෂ 1940 අප්‍රියෙල් 25 දින Batman #1 කලාපය සමගින්. JOKER චරිතයේ නිර්මාතෘවරුන් වන්නෙ BILL FINGER සහ JERRY ROBINSON යන දෙපළයි.

JOKER යන චරිතය එදා පටන් ජනප්‍රියත්වය අතින් කිසිදු අඩුවක් නොමැතිව කාගෙත් සිත්සතන් තුළ රෝපණය වූ බැට්මෑන්ගේ පරම සතුරා ලෙස හදුන්වන්නට පුළුවන්. JOKER හට ප්‍රභවයන් කීපයක් දක්නට ලැබෙන අතර නිසි අනන්‍යතාවයක් දක්නට ලැබෙන්නෙත් නෑ. පළමු කලාපය තුළ JOKER යනු JACK NAPIER යන නාමයෙන් හදුන්වා තිබෙනවා. එසේම JOKERගෙ වෙනත් අනන්‍යතාවයන් ලෙස Red Hood One, Eric Border, Gelos, The Pale Man, Clown Prince of Crime, Detective Joker, Laughing Man හදුන්වන්නට පුළුවන්. අපරාධ පිළිබද සුපිරි මොළයක්, එමෙන්ම JOKER VENOM හෙවත් සතුටු ගෑස් එක මෙන්ම දරාගැනීමේ ශක්තිය, ගැජට් නිපදවීමේ හැකියාව ආත්මාරක්‍ෂක සටන් කලාවන් ප්‍රගුණ කළ අයෙක් ලෙස JOKER සැලකෙනවා.

කෙසේ වෙතත් JOKER චරිතය සදහා දක්නට ඇති ORIGIN STORY පිළිබදව පවසනවානම්,

“THE MAN BEHIND THE RED HOOD,” BATMAN VOL. 1 #168 (1951)

JOKER පළමු එළිදැක්වීමෙන් වසර 11කට පසුව බැට්මැන් විසින් කලකට පෙර මුණගැසුණු RED HOOD නම් අපරාධකාරයෙක් ගැන අපරාධ විද්‍යා පන්තියක සදහන් කරලා තියෙනවා. නමුත් ඔහුව ACE CHEMICAL වැටලීමකදි අතුරුදන්ව ඇති බව පවසා තිබෙනවා. එයින් පැහැදිලි වී තිබෙනවා JOKER සැබවින්ම කවුරුන්ද යන්න, ඒ ඔහු විසින්ම ඒ බව පැවසීමෙන්:

ඔහු විද්‍යාගාර සේවකයෙක්, ඒ ඔහු ඩොලර් 1,000,000ක් සොරකම් කර විශ්‍රාම යාමට තීරණය කරන තෙක් දිනක් ඔහු මුදල් සොරකම් කරගෙන රසායනික අපද්‍රවය ටැංකියකට බැහැලා ඔක්සිජන් බටයක ආධාරයෙන් බේරී ගොස් තිබෙනවා. නමුත් එහි බලපෑම නිසා ඔහුගේ හම සුදුමැලි වී, කොණ්ඩය කොළ පැහැ ගැන්වී තොල් රතු පැහැ ගැන්වී තිබෙනවා.

BATMAN: THE KILLING JOKE (1988)

මෙහි සදහන් වන්නෙ joker ප්‍රහසන ශිල්පියෙක් වීම සදහා ACE CHEMICALහි සේවය කරමින් සිට එයින් ඉවත්ව ගිය පුද්ගලයෙකු බවයි. මෙහි සදහන් වෙන ආකාරයට ජෝකර් සොරකමක් කිරීමට කණ්ඩායමකට උදව් කර ඇති එහිදී ඔහු බැට්මෑන්ගේ බේරීම සදහා අසල ඇති ජලාශයකට පැන තිබෙනවා, නමුත් එම ජලාශයට මිශ්‍රව තිබු රසායනික අමුද්‍රව්‍ය හේතුවෙන් ඔහුව විකටයෙකුගේ ස්වරූපයට වෙනස්ව තිබෙනවා. එසේම ඒ හා සමගම ඔහුට ඔහුගේ පරණ ජීවිතය අමතක වී ගිහින්.

“LOVERS AND MADMEN,” BATMAN CONFIDENTIAL #7-12 (2007-2008)

මේ කතාවට අනුව ජැක් කියලා බර්ලන්ටි අපරාධ පවුලට වැඩ කළ, ඒ කියන්නෙ හොර මැරකම් කළ හාදයෙක් ඉදලා තියෙනවා. ඉතින් වෙනදා වයේම බැට්මෑන්ගේ මැදිහත් වීමක් නිසා මේ පුද්ගලයාව රසායනික ද්‍රව්‍යවලට අහුවෙලා තියෙනවා. හැබැයි ඒක වෙන්නෙ බැට්මෑන්ගේ අතින්නම් නෙවෙයි ඔහු වැඩ කළ මැර කල්ලියේ අතින් කියලයි සදහන් වෙලා තියෙන්නෙ. ඊට පස්සේ තමයි අදාළ පුද්ගලයා JOKER බවට පරිවර්තනය වෙන්නෙ.

ඉතින් මෙන්න මේ ආකාරයට JOKER චරිතයට විවිධාකාර වූ origin story මෙන්ම වෙනස් වෙනස් ආකාරයේ චරිත ස්වභාවයන් දකින්නට ලැබෙනවා. ඒ බව එදා මෙදාතුර බිහි වූ බැට්මෑන් සිනමාපටවල සිටි ජෝකර් චරිත තුළින් මනාවට දැකගන්න පුළුවන්.

2019 වර්ෂයේ JOKER සදහාම වෙන් වූ සිනමාපටයක් නිපදවෙන්නෙ TODD PHILLIPSගේ අධ්‍යක්‍ෂණයෙන්. ටොඩ් පිලිප්ස් කියන්නෙ THE HANGOVERWAR DOGSA STAR IS BORN චිත්‍රපටවලින් ඔබ කවුරුත් දන්නා කියනා අධ්‍යක්ෂකවරයෙක්. IMDB දර්ශකයේ 8.8ක් වැනි ඉහළ අගයකුත්, කුණු තක්කාලි දර්ශකයේ 69%ක අගයකුත් ලබාගැනීමට සමත් වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය, එනම් JOKERගෙ චරිතයට පණ පොවෙන්නෙ Joaquin Phoenix රංගධරයා විසින්. ඔහු මීට පෙර සිනමාපට රැසක රගපා ඇති මුත් මෙය ඔහුගේ ජිවිතයේ අග්‍රගන්‍ය සන්ධිස්ථානයක් වනවාට කිසිදු සැකයක් නෑ. එසේම චරිතය රගදැක්විම අතින් ඔහු JOKER චරිතයට උපරිම සාධාරණයක් කර ඇති බව නොරහසක්.

ඉතින් මේ වන විට JOKER සිනමාපටය ආදායම් අතින් අති සාර්ථකත්වයට පත්ව තිබෙන්නේ  ඩොලර් මිලියන  $984,691,507 ලබාගනිමින්. ඉතින් බිලියනය පසු කර යාමට තව පොඩි ගාණයි. එසේම 2019 වර්ෂයේ වැඩිම ආදායම් ලද සිනමාපට අතර 7වැන්න බවට පත්වෙමින්ද එතෙක් මෙතෙක් බිහි වූ R-rated සිනමාපට අතර පළමු ස්ථානයට පත් වන්නටද හැකියාව ලැබී තිබෙනවා. මෙහි ඇති විශේෂත්වයනම් ඉතා අඩු වියදමකින් නිෂ්පාදනය වූ JOKER සිනමාපටය එනම් $ මිලියන 62.5ක් වැනි අඩු මුදලකින් නිපදවුණු මෙම සිනමාපටය වැඩිම ලාභයක් ලද COMIC සිනමාපටය බවටද පත් වෙනවා.

JOKER සිනමාපටය නිකුත් වීමට පෙර සිටම විවිධ සම්මාන උදෙසා පවා නිර්දේශ වීමට සමත් වෙනවා. VANICE සිනමා උළෙලේදි හොදම චිත්‍රපටය උදෙසා GOLDEN LION සම්මානය දිනාගන්නට සමත් වෙනවා. ඊට අමතරව තවත් සම්මාන රැසකට නිර්දේශ වී හමාරයි.

එසේම JOKER සිනමාපටය තිරගත වීමේදී විවිධ ගැටළු මතු වී තිබෙනවා. මන්ද යත් ජෝකර් චිත්‍රපටිය තුළින් වැපිරූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන්. ඒවානම්

  • සිනමාපටය විකාශය වීමේදී සිනමාශාලා අසළට වෙනම පොලිස් ආරක්‍ෂාව යෙදවීම
  • සිනමාපටය නැරඹීමට පැමිණෙන අයගේ තත්වය ගැන අවධානය සදහා රහස් පොලිස් නිළධාරින් සිනමා ශාලා අභ්‍යන්තරයේ යෙදවීම
  • එසේම කුඩා ළමුන්ට නැරඹීමට වාරණ පැනවීම
  • The Dark Knight සිනමාපටය අතරතුර AURORA සිනමාශාලාවේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය අයගේ ඥාතින් විසින් JOKER සිනමාපටයට විරෝධය දැක්වීම
  • ඒ හේතුවෙන් AURORA සිනමාශාලාවේ JOKER තිරගත නොකිරීම

වැනි විවිධ කරුණු කාරනා මතුව තිබෙනවා.

අපේ කතාවේ ප්‍රධාන චරිතය ඒ කියන්නෙ ජෝකර් එහෙමත් නැත්නම් ආතර් ෆ්ලෙක් කියන්නෙ සමාජයේ කොන් වීමට ලක් වෙච්ච ඒ නිසාම මානසික රෝගයකට පවා ගොදුරු වෙච්ච අසරණයෙක්. යන යන තැන තැලෙන යකඩයක් මෙන් දුක් විදින්නට, අනෙකාගේ විහිළුවට සමච්චලයට ලක් වෙන්නට ආතර්ට සිද්ධ වෙනවා. ඉතින් තැලෙන යකඩෙ මුවහත් වෙන්නාක් මෙන් ඒ නිසාම ඔහුගෙ සිතෙහි තිබු ඒ ක්‍රෝධය පිට වෙන්නෙ තමන්ට සමච්චල් කළ තරුණයින් තිදෙනෙකු ඝාතනය කර දැමීමෙන්. ඉතින් මේ සිද්ධිය ආතර්ගෙ ජීවිතයේ විතරක් නෙවෙයි සමස්ත ගෝතම් නගරයෙ විශාල පෙරළියක් ඇති කරන්නට සමත් වෙනවා. ඉතින් ආතර්ගෙ මේ කතාව ඇතුලෙ අපිට කුඩා බෘෘස්වත් දැකගන්නට ලැබෙනවා. ඉතින් සමාජ අසාධාරණයන්ට ලක්වන පුද්ගලයෙකු ලෙස විටෙක ආතර් ගැන අනුකම්පාවත් විටෙක භීතියත් මනාව ඉස්මතු කරන්නට සමත් වෙනවා. එහෙමනම් බලමු ජෝකර් නිර්මාණය වූ ආකාරය ගැන දිවෙන තවත් එක් කතාවක්.

එහෙනම් පැය දෙකකට ආසන්න කාලයක් දිවෙන ගෝතම් නගරයෙ පෙරළියක් සනිටුහන් කළ ඒ විකටයාගෙ කතාව නරඹන්නයැයි සැමට ආරාධනා කරමින් මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!

ප.ලි – මෙහි භාෂා භාවිතය, ප්‍රචණ්ඩත්වය වැනි කරුණු හේතුවෙන් වයස් කාණ්ඩය 15න් ඉහළ අයට පමණක් නැරඹීමට නිර්දේශිත වී ඇත.