අපි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ සිනමා ලෝලීන් හුඟ දෙනෙක් හුඟක් ආසාවෙන බලාගෙන හිටපු ඒ සිනමාපටයයි. ඔව් Batman vs Superman Dawn of Justice. DC කොමික් රසිකයන් මේ වගේ සිනමාපටයක් නිර්මාණය වෙනකම් කොච්චර කල් බලාගෙන හිටියද… ඔන්න ඒ සිහිනය මේ අවුරුද්දෙ සැබෑ වුණා WatchmenSucker PunchLegend of the Guardians: The Owls of Ga’Hoole300 සහ 2013 වසරේ නිකුත් වෙච්ච Man of Steel වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ සැක් ස්නයිඩර් අධ්‍යක්ෂකතුමාට පිංසිද්ධ වෙන්න. සමහර විට කට්ටිය දන්නවත් ඇති සමහර විට නොදන්නවත් ඇති, මුළින්ම මේ සිනමාපටයට අඩිතාලම දැම්මේ Man of Steel සිනමාපටයෙන් කියලා. මං නම් කියන්නෙ මේ ෆිලුම බලන්න කළින් පොඩ්ඩක් MoS එක බලලා ඉන්න කියලයි. ඕනම නෑ. නමුත් බලලා හිටියා නම් හොඳයි කියලා කියනවා, පොඩ්ඩක් පරණ දේවල් මතක් කරගන්නත් එක්ක. මොකද මේ සිනමාපටය පටන් ගන්නෙත් MoS එකේ අන්තිමට සුපර්මෑන් ජෙනරල් සොඩ් එක්ක සටන ගිය තැනින්. ඉතින් මේ සිනමාපටය ගැන නම් කතා කරන්න හුඟක් දේවල් තියෙනවා. සිනමාපටය බලද්දි තේරෙනවා මේක නිකම්ම ආරම්භයක් නෙවෙයි කියලා. මේ සිනමාපටයේ වෙන සිදුවීම් ටික වෙන මොහොත වෙනකොට කොමික් වල වෙච්ච හුඟාක් සිදුවීම් දැනටම වෙලා ඉවරයි කියලා පෙන්නනවා. ඉස්සරහට ඒ ගැන කතා කරමුකො. ඉතින් සිනමාපටයේ නමින්ම මේකේ ප්‍රධාන චරිත වෙන්නෙ බැට්මෑන්(බැස්ටි) සහ සුපර්මෑන්(සුපී). ඒ අතරෙම ප්‍රධාන චරිතයක් විදිහට අපේ තෙමිස්කයිරා වල ඩයනා කුමරිය හෙවත් වොන්ඩර් වුමනුත් එනවා.

මේ වෙනකොට සිනමා රසිකයින් මේ චරිත වලට පණදෙන නළුනිලියන්ව නොදැන ඉන්න විදිහක් නෑනේ. මොකද ඒ තරමටම මේ සිනමාපටය ගැන අන්තර්ජාලය ඔස්සේ කතා වුණා. ඒත් කමක් නෑ. නළුනිළි කණ්ඩායමත් බලාගෙනම යමු. ප්‍රධාන චරිතයක් වෙන බැට්මෑන්, එහෙමත් නැත්නම් බෲස් වේන් විදිහට මේ සිනමාපටයෙදී අපට හම්බවෙන්නෙ බෙන් ඇෆ්ලෙක් කියන රංගධරයායි. මේ චරිතෙට බෙන්ව තෝරගත්තම හුඟක් අය කියපු දේවල් මේක ලියද්දි මට මතක් වෙනවා. හරියට මයිකල් කීටන් 1989 බැට්මෑන් සිනමාපටයේ බැට්මෑන් වෙනකොට, ෆැන්ටෑස්ටික් ෆෝ සිනමාපටයේ හියුමන් ටෝර්ච් වෙච්ච ක්‍රිස් එවන්ස් කැප්ටන් ඇමරිකා වෙනකොට,  හීත් ලේජර් අසමසම ජෝකර් චරිතය කරන්න එනකොට මිනිස්සු එයාලට එක එක කතා කිවුවා වගේ. ” මෙයාව හරියන්නෙ නෑ බැටාට. මෙයාට ඔය චරිතෙ හරියට කරන්න බෑ. බේල්ට වඩා වෙන හොඳ බැටෙක් ආයෙ නෑ.” ඔය වගේ කතා අපිට ඒ දවස් වල අන්තර්ජාලය පුරා අහන්න ලැබුණා. හැබැයි ඉතින් දැන් ඉතින් ඒ කෑගහපු හැමෝටම උත්තරේ ලැබිලා තියෙන්නෙ. හැබැයි ඉතින් දැන් එහෙම කියපු අයම තමා ඉතින් අනිත් පැත්තට කියන්නෙ “මේ තමා මං දැකපු නියම බැටා. ආයෙ කතා කරන්න දෙයක් නෑ” කියලා. මිනිස්සුන්ගෙ හැටි එහෙම තමා ඉතින්. හැබැයි ඉතින් DC ලෝලීන් වෙච්ච අපි නම් එදා ඉඳන් දැනගෙන හිටියා බෙන් අපි හිතනවටත් වඩා මේ චරිතයට සාධාරණයක් කරනවා කියලා.

 ඊළඟ චරිතෙ තමා සුපී. එහෙමත් නැත්නම් ක්ලාක් කෙන්ට්. හෙන්රි කැවිල් තමා ඉතින් මේ සුපීගෙ චරිතයට පන දෙන්නේ. කට්ටිය දන්නවා ඇතිනෙ MoS සිනමාපටය කරද්දිත් හෙන්රි මේ චරිතය වෙනුවෙන් කොච්චර කැපවුනාද කියලා. F&F සිනමාපට හරහා අපිට හමුවෙච්ච ගැල් ගැඩොට් තමා ඊළඟ චරිතය වෙන වොන්ඩර් වුමන් විදිහට මේ සිනමාපටයෙදී අපට හමුවන්නෙ. කට්ටිය මතක ඇතිනෙ වොන්ඩර් වුමන් විදිහට ගැල් ළමයව තොරගත්තහම කට්ටිය කියපු කතාව. ඔව් ඔව් ඒ ප්‍රශ්නෙ ගැන තමා කට්ටිය කිවුවෙ. 😛 ඒකට මාධ්‍ය සාකච්ඡාවකදි ගැල් හොඳ උත්තරයක් දුන්නා. මං ඒ උත්තරය මෙතන කියන්න යන්නෙ නෑ. 😛 හැබැයි ඉතින් මං නම් කියන්නෙ ගැල් ළමයව පවර් ගර්ල් විදිහටවත් ගත්තා නම් තමා ඒ ප්‍රශ්ණය හුඟක් බලපාන්න තිබුණේ. හෙ හේ… 😀 ඉතින් කොහොම හරි අන්තිමට සිනමාපටය බැලුවට පස්සෙ ගැල් ළමයා වොන්ඩර් වුමන්ට නියමෙට ගැලපෙනවනේ කියලා කියන්න ගත්තා සුපුරුදු පරිදිම.

MoS එකේ වගේම මේ සිනමාපටයෙදිත් ලොයිස් ලේන් විදිහට ඇමි ඇඩම්ස්වත්, සුපීගෙ පෘතුවියේ අම්මා වෙන මාතා කෙන්ට් විදිහට ඩයන් ලේන්වත්, ඩේලි ප්ලැනට් එකේ පෙරී වයිට් විදිහට ලෝරන්ස් ෆිශ්බන්වත්, ජෙනරල් සොඩ් විදිහට මයිකල් ෂැනොන්වත් අපිට දැකගන්න පුළුවන්. අපි හැමෝම බලාගෙන හිටපු අනිත් චරිතය තමයි ලෙක්ස් ලූතර්. මේකට වාසනාව හම්බෙන්නෙ ජෙසී අයිසන්බර්ග්ට. කට්ටිය තාමත් කියනවා ලෙක්ස් විදිහට එන්න ඕනා ජෙසීට වඩා පෞර්ශවත් කෙනෙක් කියලා. මටත් ඒකට එකඟ වෙනවද නැද්ද කියලා හිතාගන්න අමාරුයි. කෙවින් ස්පේසි, මයිකල් රෝස්න්බෑම් එක්ක එහෙම බලනකොට පොඩ්ඩක් ඒ ගැන හිතන්න වෙනවා තමා. අනිත් චරිත වෙන   ඇක්වාමෑන් විදිහට ජේසන් මැමෝවා, ෆ්ලෑෂ්, එහෙමත් නැත්නම් බැරී ඇලන් විදිහට එස්රා මිලර්ද, වික්ටර් ස්ටෝන් හෙවත් සයිබෝග් විදිහට රේ ෆිෂර්ද, මාර්තා වේන් විදිහට ලෝරන් කොහාන්ද, තෝමස් වේන් විදිහට ජෙෆ්රේ ඩීන් මොගන්ද මේ සිනමාපටයෙදී අපිට දැකගන්න පුළුවන්. අපිට බැටා සමග අමතකම කරන්න බැරි චරිතයක් වෙන, ඕනම වෙලාවක මාස්ටර් බෲස් කිය කිය බැටා ගැන සොයා බලන හිතවත් සේවකයා වෙන ඇල්ෆ්‍රඩ් පෙනිවර්ත් විදිහට මේකෙදි අපිට හමුවෙන්නෙ ජෙරමි අයන්ස්වයි.

දැන් හැරෙමු
එහෙනම් කතාව පැත්තට…..

සුපුරුදු විදිහටම මේකෙත් බැටාගෙ පොඩි කාලෙ සිදුවීම් තියෙනවා. අම්මවයි තාත්තවයි මරණ සිදුවීම. ඊට පස්සෙ තියෙන්නෙ මුළින්ම මම කිවුවා වගේ  අර Man of Steel ෆිල්ම් එකේ සුපී ජෙනරල් සොඩ් එක්ක සටන යන දර්ශනය. MoS ෆිල්ම් එක බලද්දි අපි නොදැක්කට ඒ සිදුවීම වෙද්දි බෲස් එතන ඉඳලා තියෙනවා. ඒ වගේම අපි දැක්කනෙ ඒ සටන නිසා මෙට්‍රොපොලිස් වලට කොච්චර අලාභ හානියක් වුණාද කියලා. ඒ සටනේදි මෙට්‍රොපොලිස් නගරෙ තියෙන වේන් සමාගමේ ශාඛාවකුත් විනාශ වෙනවා. ඒ වගේම කට්ටියට මතක නම්, MoS ෆිල්ම් එකේදි අර විනාශ වෙන චන්ද්‍රිකාවත් අයිති බෲස් වේන්ටම තමා. මතක නැතිනම් යන්න යන්න, දැන්මම ගිහින් බලන්න ඒක. ඉතින් මේ සටනෙදි හුඟක් මිනිස්සුන්ව මැරෙනවා. ඉතිං හිතාගන්න පුළුවන්නෙ බැටාට මේ ගැන කොච්චර තරහක් එන්න ඇතිද කියලා. ඉතින් ඒ නිසා මෙයා තීරණය කරනවා සුපීව මරන්න. ඒත් කොහොමද ඒක කරන්නෙ. එතනදි තමා බෲස්ට, ලෙක්ස් ලූතර් හරහා ක්‍රිප්ටොනයිට් ගැන දැනගන්න ලැබෙන්නෙ. ඊට පස්සෙ මෙයා ලෙක්ස්කෝප් එකෙන් ක්‍රිප්ටොනයිට් හොරකම් කරනවා. ඒ අතරේ ලෙක්ස් සෙනෙටර් ෆින්ච් මාර්ගයෙන් ජෙනරල් සොඩ්ගෙ මිනිය වගේම ක්‍රිප්ටෝනියන් යානයටත් ඇතුල් වෙන්න අවසර ලබා ගන්නවා. බෲස් වේන් ලෙක්ස්කෝප් එකේ තියෙන ලෙක්ස්ගෙ සාදයකට යනවා. එතනදි තමා බෲස්ට මුල්ම වතාවට ඩයනා කුමරියව හම්බවෙන්නෙ. මෙතනදි බෲස් ලෙක්ස්ගෙ මේන්ෆ්‍රේම් කම්පියුටර් එකෙන් දත්ත වගයක් ගන්නවා. ඊට පස්සෙ ඒ ටික ඩික්‍රිප්ට් කර කර ඉන්නකොට තමා වැදගත්ම දේ වෙන්නෙ. ජස්ටිස් ලීග් එකට පාර කැපීම. මං කතාව කියන එක මෙතනින් නවත්තන්නම්. ෆිල්ම් එකේ තියෙන අනිත් වැදගත් කරුණු කීපය විස්තර කරන්නම්. මම ඒක සබ්  එකත් එක්ක  වෙනම නෝට්පෑඩ්  ෆයිල් එකක අන්තර්ගත කරලා තියෙනවා. මොකද ඒ ගැන මෙතන විස්තරයක් දුන්නොත් ඔයාලට මම මුළු කතාවම කිව්වා වෙනවා. ඒ නිසා කතාව බලල ඒක ඕපන් කරගෙන කියවන්න. චිත්‍රපටයේ තියෙන ස්පොයිලර් වගේම ඊස්ටර් එග්ස්  ගැන තරමක් දැනගන්න පුළුවන් වේවි.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ ෆිල්ම් එක හරහා ඉස්සරහට එන්න තියෙන හුඟක් ෆිල්ම් වලට මග පාදලා තියෙන්නෙ කියලා. නිල නොලත් විදිහට ආරංචියි බෙන් ඇෆ්ලෙක්ම අධ්‍යක්ෂණය කරන බැට්මෑන් සිනමාපටයක් එන්න තියෙනවා.  2017 ජූනි 2 වොන්ඩර් වුමන් ෆිල්ම් එක එනවා කියලා දැනට කියල තියෙනවා. 2018 අවුරුද්දෙ ෆ්ලෑෂ් ෆිල්ම් එක වගේම අක්වාමෑන් ෆිල්ම් එක. 2020 අවුරුද්දෙ ග්‍රීන් ලැන්ටර්න් කෝර්ප්ස් සහ සයිබෝග් ෆිල්ම් දෙකත් එනවා කියලා දැනට කියලා තියෙනවා. 2017 ජස්ටිස් ලීග් පලවෙනි කොටස අපිට බලාගන්න පුළුවන් වගේම 2019 අවුරුද්දෙ ඒකෙ දෙවනි කොටස බලාගන්න පුළුවන්. ඒ වෙනකම් පණ බේරගෙන ඉන්න තමා තියෙන්නෙ. ඔය මම කියපු කාල වකවානු බොහෝ දුරට වෙනස් වෙන්න පුළුවන්. අනික් විශේෂ කාරණය තමා මේ අවුරුද්දෙ බැට්මෑන් ඉන්න සිනමාපට දෙකක්ම නිකුත් වෙනවා කියන එක. සුයි සයිඩ් එකෙත් බැටා ඉන්නවනේ. ඒකයි.

මේ දීර්ග විස්තරයයි අලගිය තැන මුල ගිය තැන් කියල දුන්නේ කවුද කියලා බයිස්කෝප් එකට එන හැමෝටම අනුමාන කරන්න පුළුවන් නේ? වෙන කවුරුත් නෙමේ මේ වගේ DC පිස්සෙකුට ඉන්නේ සමන් ප්‍රසාද් හේවත් පූසා විතරයි. මේ ලිපිය වෙනුවෙන් බළලාට ස්තුතිය  හිමි වෙන්නේ. පූසා කියාගත්තට  මම නම් කතා කරන්නේ බළලා කියල. අනික් කාරණය තමයි මේ චිත්‍රපටයේ උපසිරැසි කරන්න භාර උනෙත් ඒ සත්වයාටම තමා. පස්සේ මිනිහට කුලී වැඩ වගයක් හම්බෙලා මේකට පොල්ලක් තිබ්බා. ඒ නිසා අන්තිමේ උපසිරස කරන්න සිද්ධ උනේ මට. ටික කලකට උපසිරසිකරණයෙන් ඉවත් වෙන්න හිතුවට එහෙම ඉන්න එක ලේසි නැහැ. ඒ නිසාත් DC ෆිල්ම් එකක් අතාරින්න තියෙන ලෝබකම නිසාත් ආයේ උපසිරසක් කරන්න යොමු උනා. එහෙනම් ඉතින් කට්ටියට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා. නැවතහමුවෙමු.  ජය වේවා…!!!