නෙට්ෆ්ලික්ස් හරහා ලෝකවාසී හැමෝටම බලන්න ලැබුන අලුත්ම චිත්‍රපටයක් අරගෙන තමයි මම එකතු වෙන්නේ. Red Notice හෙවත් රතු වරෙන්තුව නෙට්ෆ්ලික්ස් හරහා ඔබට ලැබෙන ලොකු වියදමක් දරපු සහ දැනට හොලිවුඩ් සිනමාවේ දැවැන්ත නළු දේපලක් වන Dwayne Johnson සහ Ryan Reynolds වගේම වොන්ඩර්වුමන් චරිතය හරහා මෑතකදී ඉමහත් ජනප්‍රිය වූ සුරූපී Gal Gadot මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත හොබවනවා. චිත්‍රපටය ගැන කිව්වොත් ඩොලර් මිලියන 200ක වියදමක් මේ වෙනුවෙන් දරා තිබෙන අතර මෙහි ප්‍රධාන චරිත රඟ දක්වන චරිත තුන ඩොලර් මිලියන 20 බැගින් රඟපෑම වෙනුවෙන් ලබාගෙන ඇති බවත් වාර්තා වෙනවා. ඒ වගේම නෙට්ෆ්ලික්ස් ආයතනය චිත්‍රපටයක් වෙනුවෙන් මේ දක්වා දරපු වැඩිම මුදලත් මෙය වෙනවා.

නොවැම්බර් 12 නෙට්ෆ්ලික්ස් හරහා දකින්න පෙරාතුව මෙය නොවැම්බර් 5 වෙනිදා සිට සතියක කාලයක් සිනමාහල් වල දර්ශනය කෙරුනා. එයින් ලැබූ ආදායම ඩොලර් මිලියන 1.3ක් වෙනවා. ඒ වගේම මෙහි රංගනයෙන් දායක වන රයන් රෙනොල්ඩ්ස් සහ රොක් තමන්ගේ නිෂ්පාදන වන Teremana Reposado Tequila සහ රයන් රෙනොල්ඩ්ස්ගේ හිමිකාරිත්වය ඇති Aviation American Gin මෙහි දක්නට ලැබෙනවා. පැය එකයි විනාඩි 55ක ධාවන කාලයක් සටහන් වුන මේ චිත්‍රපටයට මේ වෙද්දී IMDb දර්ශකයෙ 6.6ක අගයක් ලැබිලා තියෙනවා ඒ මනාප 16, 000+ අධික ප්‍රමාණයක් ලබා ගනිමින්. මේ චිත්‍රපටය වියදම අතින්, නළු නිලියන් අතින් සුවිශේෂී වෙද්දී ලොවක් ආදරය කරන තවත් අපූරු චරිතයක්ද එකතු වෙනවා චිත්‍රපටය සංගීතයෙන් වගේම රංගනයෙන්ද රසවත් කරන්න.

චිත්‍රපටය ගැන කිව්වොත් මේ කතාව දිවයන්නේ ඉහල වටිනාකමක් ඇති ඊජිප්තු කෞතුක වස්තු සොරකමේ යෙදෙන සොරුන් සහ ඔවුන් හඹා යන FBI සහ ජාත්‍යන්තර පොලිස් නිලධාරින් වටායි. කතාව ඇතුලෙ වෙන දේ මීට වඩා කියන්න අවශ්‍ය වෙයි කියලා හිතන්නෙ නැහැ මොකද චිත්‍රපටය අන්තර්ජාලයට නිකුත් වෙලා. එහෙමනම් ඉතිං බලලම ඉන්න මොකද වෙන්නෙ කියලා. ඒවගේම චිත්‍රපටය අවසන් වෙන විදිහත් එක්ක මේකෙම දෙවැනි චිත්‍රපටයක් බලන්නත් ලැස්ති වෙලාම ඉන්න.