ලෝකප්‍රසිද්ධ ක්‍රීඩා නිර්මාණයක් ආශ්‍රයෙන් බිහිවූ ලෝකප්‍රසිද්ධ සිනමා සිත්තමකට සිංහල වචන ගලපන්න බයිස්කෝප් ඇඩ්මින් විමාගෙ ආරාධනයෙන් මට අවසර ලැබුණා. තවමත් ඇතැම් සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙන සොනික් චිත්‍රපටයේ පිටපතක් අන්තර්ජාලයට මේ තරම් ඉක්මනට එකතු වෙයි කියල නම් හිතුවෙ නෑ. මගේ 50 වෙනි කඩයිම වෙනුවෙන් තියාගෙන හිටියත් අන්තිමේදි ඊට කලින්, ඒ කියන්නේ මගේ 42 වෙනි උපසිරැසි නිර්මාණය විදිහට තමයි මේක දෙන්න සිද්ධ උනේ. කොහොමෙන් කොහොම හරි වැඩේ කරන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි.

මේ ලිපිය කියවන හැම දෙනෙක්ම වගේ සොනික් පළවෙනි චිතපටය ඒ කියන්නේ Sonic the Hedgehog (2020) මේ වෙනකොට බලලා ඇති. සොනික් පළවෙනි චිත්‍රපටයේ අවසානයට හොඳ ආරම්භයක් දෙන්න දෙවෙනි කොටස වශයෙන් නිර්මාණය වූ මේ Sonic the Hedgehog 2 (2022) චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා. ඒ රොබෝ ටික්කව (Jim Carrey) අතරමං කරපු හතු වලින් පිරිණු හුදෙකලා ලෝකයෙන්ම කතාව පටන් අරගෙන.

දවස් 243 ක් ජරා හතු කෝපි බිබී ජීවිතය ගැට ගහගෙන හිටපු රොබෝ ටික්කාගෙ අරුම පුදුම නිර්මාණයක ප්‍රතිඑලයක් විදිහට මිනිහාට වෙනත් ලෝකයකින් එන නකල්ස් (Idris Elba) කියන සටන්කාමී චරිතයක් අඳුන ගන්න ලැබෙනවා. නකල්ස් කියන්නෙත් සොනික්ගෙන් (Ben Schwartz) පලිගන්න පෙරුම් පුරාපු කෙනෙක්. ඒ බොහොම ඉස්සර නකල්ස්ගේ ලෝකයේ එකිඩ්නස් කියන රණශූර ගෝත්‍ර කණ්ඩායම් 7 ක් එයාලට අයිති මැණික් ගල් 7 ක් එකතු කරලා හදපු අති ප්‍රබල හරිත මැණික, සොනික්ගෙ ලෝකයේ නායිකාව වෙන ලෝන්ග් ක්ලෝ (Donna Jay Fulks) විසින් පැහැර ගෙන ගිය නිසයි. ඒකට හේතුව ඒ මැණික නරක අය අත තිබීම විශ්වයටම තර්ජනයක් වීමයි.

අරමුණු අතින් ගත්තම රොබෝ ටික්කාටයි නකල්ස්ටයි දෙන්නටම ඕන සොනික්ව ඉවර කරන්න. දෙන්නම එකතු වෙලා සොනික්ව විනාශ කරන්නයි ඒ වගේම හරිත මැණික අයිති කර ගන්නයි ගන්න උත්සාහය තමයි මේ කතාවෙන් කියැවෙන්නේ. තවත් දෙයක්; රොබෝ ටිකකට නකල්ස් සෙට් වෙනවා වගේම සොනික්ටත් ටේල්ස් (Colleen O’Shaughnessey) කියලා හුරතල් නරි යාළුවෙක් අඳුන ගන්න ලැබෙනවා. ටේල්ස්ව නම් ඔයාල සොනික් කාටුන් එකෙත් දැකලා තියනවනේ.

ඔය කියපු චරිත වලට අමතරව සොනික් පළවෙනි චිත්‍රපටයේ හිටපු ටොම් (James Marsden), මැඩී (Tika Sumpter), ඒජන්ට් ස්ටෝන් (Lee Majdoub) වගේම අලුත් චරිත කිහිපයකුත් දකින්න පුළුවන්. මේ හැම කෙනෙක්ම චිතපටයට හාස්‍ය රසය වගේම, හොඳ වටිනාකමක් එකතු කරලා තියනවා.

Jeff Fowler විසින් අධ්‍යක්ෂණය කරපු, Paramount Pictures නිෂ්පාදන සමගම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 110ක (ඒ කියන්නේ අපේ රටේ විදේශ සංචිත වගේ දෙගුණයක් විතර) වියදමින් බිහි වූ මේ චිත්‍රපටයේ වර්තමාන IMDb අගය 6.8 ක්. පැය දෙකකුත් විනාඩි දෙකකුත් දිව යන සහ Adventure / Comedy කාණ්ඩයට වැටෙන මේ චිත්‍රපටය පවුලේ හැමෝටම බලන්න පුළුවන් නිසා ඔයාලා හැමෝටම විනෝද වෙන්න පුළුවන් කියන එකට නම් කිසිම සැකයක් නෑ.

එහෙනම් උපසිරැසිය අරගෙන, චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරන ගමන් තාවකාලිකව සමු ගන්නවා. හැමෝටම ජය!