මේ චිත්‍රපටය ගෙන එන්නේ A24 ආයතනය විසින් සහ තිරගත වීම ආරම්භ කරන්නේ 2022 මාර්තු 30 වෙනිදා. ඉතා සාර්ථකව තිරගත වුණ මේ චිත්‍රපටය අන්තර්ජාලයට මෙහි පිටපත් නිකුත් කිරීමේ දිනය පවා කල් දැම්මා. කෙසේහෝ ඇමරිකන් ඩොලර් 25ක් යොදා නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 57කට අදික මුදලක් ඉපයීමට හැකිවුණා. මේ වන විට IMDb දර්ෂකයේ 8.6 ඉතා ඉහල අගයක් සහ කුණු තක්කාලි 96% ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. මෙය අධ්‍යක්ශනේ කරන්නේ Daniel Kwan සහ Daniel Scheinert යන දෙදෙනායි. මෙයට රංගනයෙන් දායක වන්නේ Michelle Yeoh, Ke Huy Quan, Stephanie Hsu, Jamie Lee Curtis, James Hong, Jenny Slate ආදී යන අයයි.

ඉතින් මේකෙ කතාව ගැන පැහැදිලි කරන්න නම් බොහොම අමාරුයි. මොකද මේක සංකීර්ණ සංකල්පයක් වටා ගෙතුන කතාවක්. ඒ කියන්නේ බහුවිධ විශ්වය පිළිබදව. ඒත් බයවෙන්න එපා. ඒ සංකල්පය සංකීර්ණ වුණාට මේ ෆිල්ම් එක එතරම් සංකීර්ණ නෑ. හැමදෙයක්ම හොඳින් පැහැදිලි කරලා තියෙනවා. ඔයාලට තවත් මේක පැහැදිලි කරන්න කතාව ස්පොයින් නොවෙන විදිහට මං විස්තරයක් කරන්නම්. එවුලින් කියන්නේ ලොන්ඩරියක් කරන් යන බදු ගොඩකට හිරවුණ කාන්තාවක්. එයාගෙ මහත්තයා තමයි වේමන්. එයාගෙ දුව ජෝයි. එවුලින්ගේ ක්‍රියා කලාපෙ දැක්කාම හිතා ගන්න පුළුවන් එයා ගත කරන ජීවිතේට එයා කැමති නෑ කියලා. මොකද එයා තමන්ගේ සැමිය කියන දෙයක්වත් දුව කියන දෙයක්වත් ගනං ගන්නෑ. එවුලින් එයාගෙ තාත්තට විරුද්දවයි මේ කසාදෙ කරගත්තේ. ඉතින් එදා තාත්තට විරුද්ද නොවුණා නම් එවුලින්ගේ ජීවිතේ කොහොම වෙයිද? දැං ඉතින් වුණ දේ වුණානේ එහෙනම් බලමුකෝ මෙයාලගේ පවුල් ජීවිතේට මොනව වෙයිද කියලා. මෙයාලගේ ජීවිතේ ගොඩක් සාමාන්‍ය එකක්. මෙයාලගේ බදු ප්‍රශ්න නිසා විගණන පරීක්ෂාවක් කෙරීගෙන යනවා. දවසක් මේ එවුලිනුයි, එයාගෙ සැමියයි, එයාගෙ තාත්තයි එක්ක මේ විගණන පරීක්ෂණේට යද්දි වේමන්ට සම්බන්ද වෙනවා වෙන විශ්වයක ඉන්න එයාගෙම පිටපතකට(වර්ශන් එකකට). එයාගෙ නම තමයි ඇල්ෆ වේමන්. එයා එන්නේ ඇල්ෆ විශ්වයේ ඉදලා. ඒ ඇල්ෆ විශ්වයේ තියෙන තාක්ෂණෙන් තමා මේ සම්බන්ද වීම් සිදු කරන්නේ. ඉතින් ඇල්ෆ වේමන් එහෙම එන්නේ මහා නපුරක් මේ විශ්වයන් විනාශ කරමින් පවතිනවා ඒ නපුරට විරුද්දව සටන් කරන්න කෙනෙක් හොයාගෙන.

මේ බුහුවිශ්වයේ එක එක විශ්ව වල එක වගේ අය පවතිනවා. හරියට එවුලින් වගේ අය තවත් විශ්ව වල ඉන්නවා වගේ. කොහොම හරි ඒ එක එක විශ්ව වල එවුලින්ලාට එක එක හැකියා තියෙනවා. මේ ඇල්ෆ විශ්වයේ ඉන්න ඇල්ෆ එවුලින් තමයි හොයාගන්නේ අනික් විශ්ව එක්ක සම්බන්ද වෙන ක්‍රමේ. ඉතින් ඇල්ෆ වේමන් මේ විශ්වයට එන්නේ අර නපුර පරද්දන්න පුලුවන් කෙනා මේ එවුලින් කියලා හිතාගෙන. ඇල්ෆ වේනන් ගේන උපකරණයකින් එවුලින්ට හැකිවෙනවා අනික් විශ්ව වලට සම්බන්ද වෙලා ඒ විශ්ව වල ඉන්න එවුලින්ලගේ හැකියාවන් ලබා ගන්න. එහෙම හැකියාවන් ලබා ගන්න එකට කියන්නේ ‘විශ්ව මාරුව’ කියලා. එහෙම විශ්ව මාරුව කරන්න එක එක අමුතු වැඩ කරන්න ඕනෙ, එතකොට තමා අර උපකරණෙ වැඩ කරන්නේ. ඒ කරන අමුතු වැඩ වලට මෙයාල කියන්නේ ‘විශ්ව මාරු ක්‍රමය’ කියලා. ඒ අමුතු වැඩ මොන වගේද කියලා ඔයාලට බලද්දි තේරෙයි. එහෙනම් මං මෙච්චරයි කියන්නේ ඉතුරු ටික ඔයාල බලලාම දැනගන්න කවුද මේ මහා නපුර පාලනේ කරන්නේ? එවුලින්ට එයාව නවත්තන්න පුළුවන් වෙයිද? මෙයාගෙ පවුල් ජීවිතේට මොනව වෙයිද? එවුලින් විශ්ව මාරුව කරලා එන අතුරු ප්‍රතිපල මොනවාද කියලත්.

උඩ කිව්ව විස්තරේ ඔයාලට තේරුණාද දන්නෑ. ඒ කොහොම වුණත් මේ සුපිරිම ගනයේ ආදරණීය, හාස්‍යජනක, හැඟීම්බර කතාව නරඹන්න ඔයාලටත් ආරාදනා කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!